කන්න බොන්න කලින් එන්න

නුගේගොඩ නගරය කිට්ටුවෙන් විවෙක පාඩුවේ කෑම වේලක් කන්න කියාපු තැන ස්පයිස් ඇන්ඩ් කරී – Spice & Curry Nugegoda

banner

නුගේගොඩ නගරය කිට්‍ටුවෙන් විවේක පාඩුවේ කටට රහට කෑම වේලක් ගන්න තියන තැන් ටිකක් අඩුයි.මොකද නුගේගොඩ කියන්නේ ටිකක් කාර්‍ය බහුල නගරයක්.ඒ කොහොම උනත් අපි ඔබට විස්තර ගෙන එන අවන්හල නුගේගොඩ නගරය සමිපයේ තියන නිදහසේ ආහාර වේලක් ගන්න යන්න පුලුවන් සුපිරි තැනක්.මේ අවන්හල නමින් ස්පයිස් ඇන්ඩ් කරි.මූලිකවම ගමේ විදියට රසම රස කෑම වේලක් කන්න යන්න කියාපු තැනක් විදියට මෙතන හඳුන්වන්න පුලුවන්.

වටපිට

ස්පයිස් ඇන්ඩ් කරී අවන්හල සතුව සැලකිය යුතු ඉඩක් වාහනයකින් ආවොත් නවත්වන්න පුලුවන් වෙන හැටියට තියනවා.අවන්හල ඇතුලත සුදු පාටින් වර්නවත්  උනු බිත්ති වලින් අවන්හලට චාම් පෙනුමක් ඇවිත්. මනාව ඇතිරූ ටයිල් පොලවේ ඇසිරූ ලීයෙන් කල මේස සහ පු‍ටු ඉතා සැපවත්.ඒ වගේම ඒවා අතර පරතරය හොඳින් තියෙන පරිදි අසුරලා තියනවා.ඒ නිසා ඉඩ කඩේ ඇහිරීමක් නෑ.

මෙහි ඇතුලත ඒ සී නම්  නෑ.ඒ උනාට අවන්හල තුල ඇති ෆෑන් නිසා රස්නය  මග ඇරෙනවා.මෙහි එලි මහනේත් වෙනම පොඩි කොටසක ආහාර ගන්න පුලුවන්.මද ආලෝකය යටට වෙලා විශාල ගහක් යට රාත්‍රි ආහාර වේලකට උනත් මේ තැන ඉස්තරම් .

මෙනුපත

මෙහි දවල් සහ රාත්‍රී වරු සඳහා ආහාර සපයනවා.දවල් වරුවකට  ප්‍රධාන ආහාර වේල විදියට දේශීය ක්‍රමයට රයිස් ඇන්ඩ් කරී මෙනුවට යන එක තමයි හොඳම දේ.මෙහි මේ කෑම වේල ‍තෝරාගන්න හැටිත් ටිකක් වෙනස්.පොල් අතු පියස්සකින් සෙවිලි උන කෑම තියන තැනට ගිහින් මැටි හට්ටි වල තියන මාලු පිනි 15කට එහා ගනනක් අතරින් අපි කැමති මාලු පිනි මොනවද කියලා ‍තෝරන්නයි තියෙන්නේ.ඒත් එක්ක සුදු කෑකුලු හරි රතු කැකුලු හරි ඇනවුම් කාන්න පුලුවන්.ඔබ මෙහෙම ඇනවුම් කලහම මේ අවන්හලේ සේවක මහත්තුරු ඔබේ ඇනවුම මේසේට ගෙනත් දෙනවා.

කෑම ගැන කියනවා නම් මේ මාලු පිනි අතරේ ගමේ කෑම ගොඩාක් නිතරම දකින්න පුලුවන්.ඇඹ‍රැල්ලා මාලුවක්, පොලොස් මැල්ලුමක්, කොහිල සම්බෝලය,ගො‍ටුකොල මැල්ලුමක්,මෙලුම් අල මාලුවක් මුරුංගා මාලුවක් වගේ කෑම නිතර මේ මෙනු එකට ඇතුලත්.ඒත් එක්කම මේ කෑම එකට බැදපු මිරිස් ,පපඩම් සහ බැදපු කරවල කෑල්ලකුත් හම්බවෙනවා.කෑම වල රස නම් ඉතා ඉහලයි.හරියටම ගෙදර හදපු කෑම වේලක් වගේමයි.ලුනු ඇඹුල් තිතටම තියන ඉතා රසවත් කෑම වේලක් කියලා බය නැතුව කියන්න පුලුවන්.

මේ කෑම වේලට අමතරව දවල් වරුවට කහ බත්, ෆ්‍රයිඩ් රයිස් ,ලම්ප්‍රයිස් වගේ කෑමත් කන්න ගන්න හැකියි.රාත්‍රී වරුවකට මෙහි ඔබ එනවා නම් මේ මෙනු එක ට වඩා ලොකු විවිදත්වයකින් කෑම ‍තෝරගන්න රාතියට ඔබට හැකි වෙනවා.රාත්‍රී වරුවකට ගමේ විදියට කන්න ආප්ප ඉඳි ආප්ප,පොල් රොටී ,පිට්‍ටු වගේ කෑමත් කොත්තු වර්ග විදියට වෙජි එග් ‍ෆිශ් සී ෆුඩ් ච්කන් මික්ස් සහ ඉඳි ආප්ප කොත්තු මේ ඕනි එකක් කන්න ගන්න පුලුවන්.ඒ වගෙම රාතී වරුවට නූඩ්ල්ස් සහ පැස්ටා වර්ග ගනනාවකුත් කන්න ගන්න මෙහි ආවොත් ඔබට පුලුවන් වෙනවා.

ඩෙසර්ට් එකක් විදියට හොඳ තත්වයේ කිරිත් එක්ක කිතුල් පැනි එකතු කරලා කන්න ගන්න පුලුවන් නම් ඒක හොඳ ‍තෝරාගැනීමක් වෙයි.එය ඉතාමත් රසවත්.ඊට අමතරව පලතුරු සලාද ,අයිස් ක්‍රීම් ,ක්‍රීම් කැරමල් ,වටලප්පන් වගේ කැමත් අතුරුපස විදියට ඔබට මෙහි ආවොත් ‍තෝරාගන්න පුලුවන්.

සේවාව

මෙහි සේවය සඳහා ඉතා හොඳ කාර්‍ය මඩුල්ලක් ඉන්නවා.නිසි පරිදි හැද පැලඳගෙන විනීත අයුරින් මෙහි යන එන අයත් එක්ක ගනු දෙනු කරන්න ඔවුන් සමත්.ඔබ ඔබේ කෑම ඇනවුම් කල වෙලේ පටත් හොඳින් අඩු පාඩු සොයා බලාගෙන වැඩකටයුතු ඉක්මනින් කරන්න ඔවුන් කටයුතු කරනවා.ඒ නිසා මෙහි සේවාව ඉතා හොඳ මට්ටමක තියන බව කියන්න ඕනි.

මග

මේ අවන්හල පිහිටන්නේ නුගේගොඩ නගරයේ ඉඳන් කිලෝමීටරයකට අඩු දුරින්.මෙතනට් එනවා නම් නුගේගොඩ දුම්රියපල ඉදිරිපසින් නුගේගොඩ පොලිසියත් එක්ක තියන පූර්වාරාම පාරේ මීටර් 600ක් විතර ඉස්සරහට එන්න ඕනි.ඒ එනකොට පාරෙන් දකුනු අත පැත්තට වෙන්නටයි මේ අවන්හල පිහිටන්නේ.ටිකක් විමසිල්ලෙන් ආවොත් හොයාගන්න එක නම් අපහසු වැඩක් නෙවෙයි.

ස්පයිස් ඇන්ඩ් කරී අවන්හල උදේ 11 ඉඳන් රාත්‍රී වෙනතුරු විවුර්ථව පවතිනවා.නිවාඩු පාඩුවේ කෑම වේලක් කන්න තෑනක් හොයන කොයි කාටත් මේ අවන්හල ඉතා හොඳ ‍තෝරාගැනීමක් කියන්න පුලුවන්.වැඩි කලබලයක් නැතුව නිවුන දේශීය පසුබිම් සංගීතයක් එක්ක කටට රසට කෑම වේලක් ගන්න කෑමත් ඕනි කෙනෙක්ට මේ අවන්හල ඉස්තරම් තෑනක්.පුංචි පහේ උත්සවයකට උනත් මෙතන වෙන කරගන්න ඔබට හැකියි. ඔවුන්ගේ දුරකථන අංකය වෙන්නේ 0112811949.අවන්හලේ කෑම ගැන තවත් ගොඩක් විස්තර Spice and Curry අවන්හලේ මුහුනුපොතේ පේජ් එකට ගියොතින් තවත් දැනගන්න පුලුවන්.ඔබත් නුගේගොඩ නගරය පැත්තේ ආවොත් ස්පයිස් ඇන්ඩ් කරි අවන්හලට ගොඩ වෙලා කටට රහට කෑම වේලක් කාලා යන්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *