කන්න බොන්න කලින් එන්න

Nelum Kole Bath Kade – Anuradhapure බැදපු වැව් මාලු එක්ක නෙලුම් කොලේ රසවත් කෑම වේලක් කන්න නෙලුම් කොලේ අවන්හල

banner

කොලඹ ඉඳන් යාපනේ යනවනම් හරියටම ඒ අතර මැදි දුරින් පිහිටන රසවත් නවාතැන් පොලක් තමයි නෙලුම් කොලේ බත් කඩේ කියන්නේ.කඩේ නම වගේම තමයි ඔවුන් ආහාර සපයන්නේ නෙලුම් කොලේ.ඒ දේ ඉතාම සුවිශේශයි.දේශීය සංචාරකයින් අතර මෙතන ඉතා ජනප්‍රිය තැනක්.ගොඩ දෙනෙක් ඒ නවය පාරෙ යාපනේ යනවා නම් අනුරාධපුරේ රඹෑවේ තියන නෙලුම් කොල් බත් කඩෙන් කැම වේලක් අරගෙනයි යන්නේ.

වටපිටාව

nelumkole

මෙතන ඉතා කුඩා තැනක්.වටේටම ලෑලි ගහපු අවන්හල පොල් අතු වලින් සෙවිලි කරලා.කඩේට ගොඩ වෙන්න තියෙන්නේ ලී දඬු වලින් හදපු පාලමක්.ඇතුලත කුඩා ස්ටූල් තියෙනවා. එතන ඉඳලත් ආහාර ගන්න පුලුවන්.ඒ වගේම හොඳම දේ එලියේ තියන ජැම් පේර ගහ යට ඉඳන් ඒ නයින් එක දිහාත් බලාගෙන ආහාර ගන්න එක.මෙහි සේවකයන් පවා ඔවුන්ට හිමි කොල පැහැ ඇඳුමින් සැරසිලා. මෙවන් පැත්තක පුංචි කඩයක ඒ දේවල් ගැනත් සැලකිලි මත් වෙන එක නම් පුදුමයි.නිතරම ලොකු සෙනගක් නෑ. ඒ නිසා පාඩුවේ රසට කෑම් වෙලක් ගන්න හොඳම තැනක් තමයි නෙලුම් කොලේ බත් කඩේ..

බඩජාරි මෙනුපත

nelumkole2

ඔබ මෙතනට දිවා ආහාරයකට එනවා නම් රස බලන්න හොඳම කැම තමයි වැව් මාලු එක්ක බත්.බත් තියෙන්නේ බුෆේ විදියට .තමුන්ට කැමති කෑම වර්ග බෙදා ගන්න පුලුවන්.මාලුව වර්ග පහ හයක් තියනවාමයි.බැදපු වැව් මාලු කැල්ලක් එක්ක ලුනු ඇඹුල් පදමට වෙච්ච කොල සම්බෝලයක් ඇට පරිප්පු ,මාලු හොදි ටිකක් එක්ක බැදපු මිරිස් කරල් දෙකක් සහ පපඩම් තමයි අපේ ආහාරය උනේ. මේ ඔක්කොම නෙලුම් කොලේ උඩට එනකොට කටට කෙල උනනවා.රසත් නියමයි. ඔබට කොලඹදී නම් මේ වගේ ආහාර වේලක් රස බලන්න බෑ,මේ අත්දැකීමත් ඉතා සුවිශේශයි.

උදැසන ආහාර වේලකට එනවානම් බත් වගේම ඉඳි ආප්ප ආප්ප පිට්‍ටු වගේ කෑම්ත් කන්න ගන්න පුලුවන්.මාලු හොද්ද එක්ක ඒවත් නියමෙට පෑහෙනවා.උදේට බත් කෑවත් ඉඳි ආප්ප කෑවත් පොල් සම්බෝල නම් අනිවාර්යයි.උදේට බුෆේ එකේ තියන කෑම දවල්ට වෙනස් වෙනවා.මෙහි අයිතිකරු වෙන බන්දුල මහත්මයා කඩේ කෑම බීම උපරිම නැවුම් තත්වයෙන් දෙන්න සැදී පැහැදී ඉන්නේ..

nelumkole3

මෙතන ඔබ ප්‍රධාන ආහාර වේල මග හැරිලා ආවොත් ඉඟුරු දාලා තේකක් බොන්න .එයත් කදිම අත්දැකීමක්.ඒත් එක්ක කන්න ගන්නව නම් ලැවරියා කැවුම් වංඩු තලගුලි එහෙමත් තියනවා. ඉඟුරු රස තේකට පංකාදුයි මේ පැනි රසත්.ඔක්කොම කෑම නිවසේ හැදුවා වාගේමයි. නෙලුම් කොල පවා එදිනෙදා වැවෙන් කඩා ගෙන එන ඒවා.

කොහොම උනත් මෙතන මිල ගනනුත් ඉතා සාධාරනයි.දෙන්නෙක්ට කෑම එකක් රුපියල් 500න් හොඳට බඩපිරෙන්න කන්න පුලුවන්

සේවාව

මෙතන ඉතා හොඳ සේවාවක් හම්බවෙනවා.ගොඩක් වෙලාවට ආහාර දෙන්න ඉන්න ඉන්නේ කාන්තාවන්.ඔවුන් ඉතාම මිත්‍රශීලි.හැම වෙලේම හිනාවෙන් පිරුනු මුහුනු.ඉතා කැමැත්තෙන් වැඩ කරන බවක් පෙනෙනවා.මෙහි අයිතිකරු උනත් කිසි පැකිලීමක් නැතුව ඔබත් එක්ක කතා බහ කරාවි.කෑම ගැන හෝ ඕනි දෙයක්.

මග

කොලඹ පැත්තේ ඉඳන් මෙතනට එනවා නම් අනුරාධපුර නගරය පහු කරලා ඒ නයින් පාරේ කිලෝ මීටර් 20ක් විතර එන්න ඕනි රඹෑව හංඳියට.මිහින්තලේ පැත්තෙන් ආවත් යාපනේ පාරෙන් රඹැව හන්දියට ඇවිත් එතනින් හරියටම කිලෝ මීටරයක් ගිහාම පාරෙන් දකුනු අත පැත්තෙ මේ අවන්හල හමු වේවි.

දුරකථන 025 3 251281

මෙතන ඉතාම රසවත් පිරිසිදු කෑම කඩයක්.ඔබ යාපනේ යන ගමන් අතර මග ගමේ ක්‍රමයට කෑම ගන්න නම් මෙතන ඉතාම හොඳ ‍තෝරා ගැනීමක්.කොහොම උනත් මෙතන ආහාර දෙන්නේ උදේ සහ දිවා කාලයට විතරයි.ඒක හංදා එන වෙලාව ගැනත් සැලකිල්ලෙන්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *